1920 දී බ්‍රිතාන්‍ය පාලකයන් විසින් අනගාරික ධර්මපාලතුමා නිවාස අඩස්සියේ වසර හතක් සිරකර තබන ලද අවස්ථාවේ ගොඩනඟන ලද ඉන්දියානු මහාබෝධි සමාගමේ මූලස්ථානය වූ ශ්‍රී ධර්මරාජික චේතිය විහාරය අද ලෝක උරුමයක් හැටියට නම් කර ඇත.

දඹදිව බුදුසමය ආලෝකවත් කළ සිංහල වීරයා - අනගාරික ධර්මපාල තුමා

බෝධිසත්ව ගුණෝපේත අනගාරික චරිතයෙන් බිඳක් නොලියා ලියන සටහන කුමකට දැයි මට සිතේ. ඔබ එතුමා ගැන දැනගත යුතුමය.   අද අපිට වැදපුදා ගන්නට ඉන්දියාවේ මේ පින් බිම් ඉතිරි වූයේ එතුමාට පින් අත්වෙන්නටයි. එ පමණක් නොවෙයි ඉන්දියාවට ද බෞද්ධ ඉතිහාසයක නටඹුන් ඉතිරිවී තිබෙන්නේ මෙ තුමා ගේ අප්‍රහිත ධෛර්‍යය නිසාය. මේ අතර තව කිහිප දෙනෙකුටම පින් පෙත් දිය යුතුයි. ඒ ඉංග්‍රීසි ජාතික පුරා විද්යාඥ ජෙනරාල් කනිංහැම් තුමා, චීන ජාතික හියුං සාන් භික්ෂූණ් වහන්සේ, පාහියන් තුමා වැනි දේශාඨනයේ යෙදුන භික්ෂූන් වහන්සේලා ද, කේ.එම්. ශ්‍රී වාස්තව වැනි ඉන්දීය පුරා විද්‍යාඥයින් ට ද අප පින් පෙත් දිය යුතු යැයි මට සිතේ. ඒ මන්ද ඔවුන් නොවන්නට අපට වඳින්නට පුදන්නට දෙයක් ඉතිරි නොවනු ඇත. අද ඉන්දීය රජය මහා උජාරුවට බෝඩ් ගසා මේ පුද බිම් වල අයිතිය සංරක්ෂණය කලත් මේ උදාර පුද්ගලයන් නොවන්නට අපට ඉතිරි වන්නේ වල් බිහි වී ගිය කැලෑවන් ය. බෞද්ධයෙක්‌, බෞද්ධ භික්‍ෂුවක්‌ නැති තරමටම දඹදිව බුදුසසුන අසරණ වී වසර අට සියයකට පසුව 1891 දී ලංකාවේ ධනවත් පවුලක උපත ලැබූ එවක දොන් ඩේවිඩ් හේවාවිතාරණ නමින් හැඳින් වූ බෞද්ධ තරුණයා දඹදිව වන්දනාව සඳහා පැමිණියේය.   එඩ්වින් ආර්නෝල්ඩ් ලියූ ‘ආසියාවේ ආලෝකය’ කියවා ඇමරිකන් ජාතික හෙන්රි ඕල්කට්‌ මැතිතුමා දඹදිව බෞද්ධ සිද්ධස්‌ථාන දැක ශ්‍රී ලංකාවේ කළ දේශන අසා කම්පාවට පත්ව ඔහු දඹදිව වන්දනාවට මුලින්ම පැමිණ ඇත්තේ බරණැස ඉසිපතන මිගදායටය.    බරණැස දුම්රියෙන් බැස මහායටිගාලින් යන විට ගල්කණු  පිරුණු කරත්ත දහයක්‌ බරණැස නගරය පැත්තට යන ආකාරයත් හිස්‌ කරත්ත කීපයක්‌ නගරයෙන් ඉසිපතනයට එන ආකාරයත් හේවාවිතාරණ තරුණයා දුටුවේය. ඔහු ඒ කරත්තකරුවන්ගෙන් මේ ගැන විමසූවිට ඔවුන් පවසා ඇත්තේ තම තමන් ගෙවල්වල අත්තිවාරම් දැමීම සඳහා මේ ගල් ගෙන යන බවයි. කරත්තවලට සමීපව බලන විට දකින්නට ලැබී ඇත්තේ විහාරයේ කැටයම් කණු සහ පිළිම වහන්සේලාගේ කඩා බිඳ දැමූ කොටස්‌ය. ඉසිපතනයට ළඟාවන විට රාත්‍රි වූ නිසා දොන් ඩේවිඩ් හේවාවිතාරණ තරුණයා පළමු රැය ගතකර ඇත්තේ වර්තමාන ජෛන පන්සල අසල තිබුණු නුග ගසක බෙනයක ය. මහා වනාන්තරයෙන් යටව තිබුණ ඉසිපතන මිගදායේ දකින්නට තිබුණේ ධම්මික ස්‌තූපය පමණි.
ලෝකයට ධර්ම චක්‍ෂුෂය, ඤාණ චක්‍ෂුෂය. විද්‍යා චක්‍ෂුෂය පහළ වූ මේ  මහා පිංබිමේ දකින්නට ලැබුණු දුක්‌බර කනගාටු අනුවේදනීය ආකාරය දැක කම්පාවට පත් වී දෙවැනි ගමන පැමිණ ඇත්තේ සිදුහත් මහබෝසතාණන් වහන්සේ  බුද්ධත්වය අවබෝධ කරගත් බුද්ධගයා පිං  බිමටයි.   බුද්ධගයාවේ දකින්නට ලැබුණේ ඊටත් වඩා වේදනා සහගත දර්ශනයකි. ක්‍රිෂ්ණ දයාල්ගිරි මහන්තා විසින් බුද්ධගයා මහා විහාරය, වජ්‍රාසනය, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අත්පත් කරගෙන වජ්‍රාසනය මත වැඩසිටින පිළිම වහන්සේට රතු රෙදි අන්දවා පොට්‌ටු තබා කඩුක්‌කන් පළඳවා හින්දු දේවතාවකු හැටියට පුද පූජාකළ අතර හින්දු ආගමිකයන්ට හැර වෙන කිසිවකුට එහි ඇතුල්වීම පවා තදින්ම තහනම් කර තිබිණි. දොන් ඩේවිඩ් හේවාවිතාරණ තරුණයාට ඇති වූ වේදනාව අසීමිතය.   කෙසේ හෝ ජය ශ්‍රී මහාබෝධින් වහන්සේ අබියසට ගොස්‌ සතිපට්‌ඨාන සූත්‍ර දේශනාව දේශනාකර අධිෂ්ඨාන කර ඇත්තේ මගේ ධනය මගේ ශ්‍රමය, මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම  බුද්ධගයාව  ඇතුළු දඹදිව සියලුම සිද්ධස්‌ථාන  මිථ්‍යා දෘෂ්ටිකයන්ගෙන් මුදවාගෙන ලෝක බොද්ධයන්ට නිදහසේ වැඳීම පිදීම පිණිස නිදහස්‌ කරගන්නා බවයි.    1891 දී එවකට කොළඹ විෙද්‍යාදය පරිවේණාධිපතිව වැඩ විසූ අතිපූජ්‍ය හික්‌කඩුවේ ශ්‍රී සුමංගල දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ‘බුද්ධගයා මහාබෝධි සමාගම ‘ආරම්භ කරන්නට යෙදුණි.   ඉන්පසුව ශ්‍රී ලංකාවෙන් භික්‍ෂුන් කීපනමක්‌ එක්‌කරගෙන ගොස්‌ බුද්ධගයාවේ නතර කර තම සටන ආරම්භ කරන්නට හේවාවිතාරණ තරුණයා කටයුතු කළේය.
එතුමාගේ සටන් පාඨය වූයේ “සිංහලයිනි නැඟිටිව් බුද්ධගයාව බේරාගනිව්” යන්නයි. එතැන් පටන් මුළු ලෝකයේම සංචාරය කරමින් තම සටන සාර්ථක කර ගැනීම සඳහා දිවා රාත්‍රි වෙහෙස වී ඔහු කටයුතු කළේය.  මහන්තා සහ මහන්තාගේ මැරපිරිස බ්‍රිතාන්‍ය පාලක පිරිස, සමහර සිංහල නායකයන්, භික්‍ෂුන් යන විවිධ වර්ගයේ මහා සතුරන් මැද ධර්මපාලතුමා එදා කළ සටන අද්විතීය ය.  පූජා කිරීම, භාවනා කිරීම, බුදුන් වැඳීම ධර්මපාලතුමා ක්‍රමානුකූලව සිදු කළ කෙනෙකි. එතුමාගේ ධර්මදූත සේවය ආගම ප්‍රචාරය කිරීම සඳහා පමණක්‌ නොව දඹදිව දුප්පත් දුගී දරුවන්ට කෙස්‌ කැපීම, දත් පිරිසිදු කිරිම, නියපොතු පිරිසිදුව තබා ගැනීම, පිරිසිදුව ඇඳුම් ඇඳීම වැනි කටයුතු ගැන සිතා ළමුන් පස්‌දෙනකුගෙන් බරණැස ඉසිපතනයේ පුංචි පාසලක්‌ ආරම්භ කර මුළු පළාතේම දුප්පත් දරුවන්ට ඉගැන්වීමට කටයුතු ද ධර්මපාලතුමා සූදානම් කළේය.   එමෙන්ම බුද්ධගයාවේ ද පාසල් පුණ්‍ය බෙහෙත් ශාලා ආදිය බොහෝ සෙයින් ආරම්භ කරන්නට කටයුතු යොදන ලදී. ලෝකවාසී ජනතාවට සේවය කිරීම එතුමාගේ උදාර අරමුණුවලින් එකකි.  බුද්ධගයා මහා විහාරය අද මුළුලෝකයාම වැඳපුදා ගන්නේ ධර්මපාලතුමාට පිං සිද්ධවන්නටය.   බුද්ධගයාවට පමණක්‌ නොව කුසිනාරා, ලුම්බිණි. සැවැත්නුවර, කෝසම්බි, සංකස්‌ස, සාංචි ආදී සියලුම දඹදිව සිද්ධස්‌ථානයන් අද ලෝක බෞද්ධයන් වඳින්නේ පුදන්නේ ධර්මපාලතුමාගේ අප්‍රතිහත උත්සාහය හේතුවෙනි.    1921 දී ධර්මරාජික විහාරයත්, 1931 දී මූලගන්ධකුටි  විහාරයත් ඉන්දියාවේ ඉදි කරවන ලදි.
දඹදිව  බෞද්ධ, හින්දු සැම දෙනාම විශ්වාස කරන්නේ අනගාරික ධර්මපාලතුමා නොසිටින්නට දඹදිව සිද්ධස්‌ථාන බෞද්ධයන්ට අහිමිවන බවයි. 1920 දී අනගාරික ධර්මපාලතුමා බ්‍රිතාන්‍ය පාලකයන් විසින් නිවාස අඩස්‌සියේ වසර හතක්‌ සිරකර තැබූ අවස්‌ථාවේ ගොඩනඟන ලද ඉන්දියානු මහාබෝධි සමාගමේ මූලස්‌ථානය වූ ශ්‍රී ධර්මරාජික ෙච්තිය විහාරය අද ලෝක උරුමයක්‌ හැටියට නම් කර ඇත.   1931 ජූලි 13 වන දින​, බෝරුග්ගමුවේ රේවත මහ තෙරුන් වහන්සේ ආචාර්යත්වයෙහි තබා ගෙන​, සිරි දේවමිත්ත ධම්මපාල යන පැවිදි නමින්, පැවිදි දිවියට ඇතුළු විය​. සිරි දේවමිත්ත යන්න තම පැවිදි නමට ඇතුළු කර ගනු ලැබුවේ, හෙයියන්තුඩුවේ හිමියන්ට කෘත ගුණ සැලකීමට ය. කෝදාගොඩ උපසේන නා හිමිට ගෞරවය පළ කිරීමට​, උන්වහන්සේ ගේ පරණ සිවුරක් තම පරිහරණයට ගෙන්වා ගන්නා ලදි.     බුද්ධගයා ප්‍රශ්නය ධර්මපාලතුමාගේ ජීවිත කාලයේ දී නොවිසඳුනි. 1947 ඉන්දීයාව නිදහස් රාජ්‍යයක් වූ අතර බිහාර් ප්‍රාන්ත රාජ්‍යය බුද්ධගයා පාලන ආඥා පනත් සම්මත කර එමගින් හින්දුන් සතර දෙනෙක් ද, බෞද්ධයන් සතර දෙනෙක් ද සහිත ගයා දිස්ත්‍රික්කයේ ආදායම් පාලක (Gaya Collector)  සභාපති වශයෙන් නිර්මාණය කර එම ආඥා පනත 1948 සිට මේ දක්වා ක්‍රියාත්මක වේ. බෝධිගයා මහා නඩුව යන නමින් ප්‍රකට වූ දීර්ඝ නඩු විභාගය 1906 දී අවසන් වූයේ ධර්මපාලතුමා පරාජයට පත් කරමිනි. ඉන් අධෛර් ය නොවූ ඔහු බුද්ධගයාව බෞද්ධයන් සතු කර ගැනීමේ සටන අඛණ්ඩව ම ඉදිරියට ගෙන ගියේ ය​.    ඔහු ගේ අභාවයෙන් පසුව​, බෞද්ධ හින්දු දෙ පාර්ශ්වයෙන් ම හතර දෙනා බැගින් නියෝජනය වන කමිටුවකින් බුද්ධගයාව පාලනය විය යුතු බවට නියම වෙමින් 1949 දී බුද්ධගයා පනත සම්මත විය​. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව වසර 800 ක පමණ කාලයක්‌ ඉන්දියාවේ බෞද්ධයන්ට අහිමිව තිබූ බෞද්ධ සිද්ධස්‌ථාන යළිත් බෞද්ධයන්ගේ උරුමයට නතුකර දෙමින්ද  බුදු දහම ලෝක පූජිත කිරීම අරභයා දිවිහිමියෙන් කටයුතු කරමින්ද වසර 56 ක තරම් කාලයක්‌ ජාත්‍යන්තර ශාසනික උත්තම මෙහෙවරක්‌ ඉටු කළ බෝධිසත්ව ගුණෝපේත අනගාරික ධර්මපාලතුමා 1933 අප්‍රේල් මස 29 දා බරණැස සාරානාත්හිදී නව මූලගන්ධ කුටි විහාරය දෙසම දෙනෙත් හෙලා එළඹගත් සිහියෙන් යුක්‌තව අපවත් වූහ.    එවන් යුග පුරුෂයන් විසින් ඉතාමත් කැපවීමෙන් ආරක්‌ෂා කළ සම්බුදු ශාසනය සිය පන මෙන් රකිමින් එහි චිර ජීවනය උදෙසා කැපවීම තරම් අගනා උපහාරයක්‌ තවත් මෙ දියත අපට තිබිය නොහැකිය.   ශ්රී දේහය ආදාහනය සාරානාත්හි සිදු කරන ලදී.  භෂ්මාවශේෂවලින් කොටසක් බරණැස ඉසිපතනාරාමයේ තැන්පත් කරන ලදි. ඉතිරි කොටස ලංකාවට වැඩම කරවන ලදි. මෛත්‍රී බුද්ධ විහාරය යෙහි තනි සුදු ගලෙන් නෙළු ගෞතම හා මෛත්‍රී බුද්ධ ප්‍රතිමා දෙකක්  ඇත.

සිරි දේවමිත්ත හිමියන් අවසන් කාලය ගත කල ස්ථානය මෙයයි. පහත මාලයෙහි සාරානාථ මහා බෝධි සමාගම් කාර්‍යාලය හා ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමාගේ කෞතුකාගාරය පිහිටා ඇත.  
chandi's lotus lake