1920 දී බ්‍රිතාන්‍ය පාලකයන් විසින් අනගාරික ධර්මපාලතුමා නිවාස අඩස්සියේ වසර හතක් සිරකර තබන ලද අවස්ථාවේ ගොඩනඟන ලද ඉන්දියානු මහාබෝධි සමාගමේ මූලස්ථානය වූ ශ්‍රී ධර්මරාජික චේතිය විහාරය අද ලෝක උරුමයක් හැටියට නම් කර ඇත.

සම්බුදු උපතෙහි ඓතිහාසික විවරණය

ආගමික හා සංස්කෘතික ඉතිහාසය තුළ බුද්ධ ජීවිතයත් ඒහා බැඳුණු සිද්ධීන් මෙන්ම බුද්ධ දේශනය ද සුවිශේෂිත වන බැවින් උන්වහන්සේගේ ඓතිහාසික බව තහවුරුවන එක් ප්‍රධාන සංසිද්ධියක් වනුයේ බුදු උපතය. ථෙරවාදී ත්‍රිපිටකගත මූලාශ්‍රයන්හි අවස්ථා කීපයක බුදු උපත හා එහි ආශ්චර්යාත්මක බව සඳහන්වන අතර එම සිද්ධිය අනෙකුත් සාහිත්‍ය හා පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර මතින් තහවුරු කිරීම ඔස්සේ බුදු උපතේ මෙන්ම බුද්ධචරිතයේ ඇති ඓතිහාසිකත්වය මනාව ඉස්මතු කරගත හැකිය. ත්‍රිපිටකගත තොරතුරුවලට අනුව බුදු උපත සිදු වූ ස්ථානය නිවැරැදිව හඳුනාගැනීම, සිදුවූ ආකාරය අනෙකුත් මූලාශ්‍රගත තොරතුරු සමඟ සංසන්දනය කිරීම තුළින් එහි නිරවද්‍යතාවය පෙන්වා දිය හැකිය. මෙහිදී පළමුව වැදගත්වන්නේ ත්‍රිපිටකයේ සඳහන් බුදු උපත සිදුවූ ලුම්බිනියේ ඓතිහාසිකත්වය හඳුනා ගැනීමය. ඒ තුළින් එම ස්ථානය හා බුදු උපත අතර ඇති බද්ධතාවය තහවුරු කර ගත හැකිය.පරිනිබ්බාන සූත්‍රයේදී සැදැහැවත් කුලපුත්‍රයෙකු විසින් දැකිය යුතු සංවේග ඉපදවිය යුතු ස්ථාන හතරක් ගැන බුදුරදුන් විසින් පෙන්වා දුන් සේක. එනම් උපන් ස්ථානය, බුදු වූ ස්ථානය, දම්සක් සූත්‍රය දේශනා කළ ස්ථානය හා පිරිනිවන් පෑ ස්ථානය යන්නයි.

ශාක්‍ය ජනපදය හා ලුම්බිනි පිහිටීම

බුදුරදුන්ගේ දෙමාපියන් ලෙසින් සඳහන් වනුයේ ශාක්‍ය වංශික සුද්ධෝදන රජු හා මව මහාමායා නම් කෝලිය වංශික දේවියය. තම පියාගේ ශාක්‍ය ජනපදය වනාහී හිමාලයට දකුණු දිශාවෙන් පිහිටා ඇති අතර ශාක්‍ය හා කෝලිය රජ දරුවන්ගේ වාසභූමිය ද රොහිණි ගංගාවේ දෙතෙර පිහිටා තිබුණි.වර්තමානයේ තිලරාකොට්  (Tilarakot) නමින් හැඳින්වෙන්නේ එවකට ශාක්‍යයන්ගේ අගනගරයයි. මෙහි සිට කිලෝ මීටර් 28 ක් බටහිරින් හා දෙව්දහ නුවර සිට කිලෝමීටර් 38 ක් නැඟෙනහිරින් බුදුරදුන් උපන් ලුම්බිනිය පිහිටා තිබේ. පාලි සාහිත්‍යයේ ‘ප්‍රදිමොක්ෂ වන’ යැයි මෙම උයන හැඳින්වේ. පාලි ත්‍රිපිටකයේ හා අටුවාවල ලුම්බිනි වනය ශාක්‍ය ජනපදය තුළ පිහිටා තිබූ බව පෙන්වයි. ජාතකට්ඨකථා නිදානයේ සාල වෘක්ෂ සහිත ලුම්බිනි වනයේ දී බෝසතුන් උපන් බව සඳහන්ය. නාලක සූත්‍රයේ ලුම්බිනි වනයේ දී බෝසතුන් උපන් බව සඳහන්ය. නාලක සූත්‍රයේ ලුම්බිනි ග්‍රාමය ගැන ද දැක්වේ. පපඤ්ච සූදනීයේ හා ජාතක අටුවාව ද ලුම්බිනිය දේවදහ නිගමයට ආසන්නයේ පිහිටා තිබූ බව දක්වයි.එදා ශාක්‍යයන්ගේ අගනගරය කපිලවස්තුව වේ. කපිල තපස්විහු වාසස්ථානය කොට ඉදිකළ නගරය නිසා කපිලවස්තුව වී යැයි සැලකේ. ‘පදරියායි’ හා ‘කොහොනා නදි’ නමින් කපිලවස්තුව හා රොහිණි නදිය වර්තමානයේදී හැඳින්වේ. හත්වැනි සියවසේ දී ඉන්දියාවට පැමිණ වාර්තා තැබූ චීන ජාතික භික්ෂුවක් වන හියූං-සීයෑං භික්ෂුව තමා එදා දුටු කපිල වස්තුව ගැන මෙසේ දක්වයි.
“කපිලවස්තු රාජධානිය වනාහී වටින් ලී 400 ක් වේ. රාජමාලිගාව පිහිටි භූමිය ලී 14 ක් පමණ වටය. එහි සියලු ගොඩනැඟිලි ගඩොලින් නිමවා තිබුණි. එහි අත්තිවාරම් බිත්ති තවමත් ඉතාමත් ශක්තිමත්ය. උස්ය. මාලිගා භූමිය තුළ ජරාවාස වූ අත්තිවාරම් බිත්ති හතරක් ඇත. මෙම සුද්ධෝදන රජුගේ නිවාසය කැඩී බිඳීගිය පසු ඉතිරිව පවත්නා දෑය. ප්‍රාසාදය පැවැති තැන සුද්ධෝදන රජුගේ ප්‍රතිමාව පිහිටුවා තිබෙන විහාරයක් ඇත. මෙයට නුදුරෙන් මායාදේවියගේ සයනය වූ තන්හි විහාරයක් වේ. එය බෝසතුන් කුස පිළිසිඳගන්නා අවස්ථාවේ මායා බිසව නිදාගත් තැනය. මේ ප්‍රවෘත්තිය එහි බිත්තියේ සිතියම් කර තිබේ. ශරකූපනම් පොකුණෙන් ලී තිහක් දකුණු නැඟෙනහිරින් පිහිටා ඇත.
මේ පොකුණෙන් ලී අසූවක් පමණ ගිය තැන ලුම්බිනි වනය වේ. ලුම්බිනි නම් රාජකුමාරියක නමින් රාජකීය උද්‍යානයට සමීපයෙන් පිහිටි ගමක් ද වේ. මෙම උයන සිද්ධාර්ථ කුමාරයාගේ ජාත භූමිය විය. කපිලවස්තුව හා දෙව්දහනුවර අතර මෙම උද්‍යානය පිහිටා ඇත. අශෝක රජු මේ ස්ථානයට පැමිණි ශිලාලේඛනයක්ද පිහිටුවා තිබේ.” හියූං-සියෑංගේ විස්තරයේ ලුම්බිනි වනයේ ශාක්‍යයන්ගේ නාග පොකුණ වූ බවත් එහි ජලය කැඩපතක් මෙන් පැහැදිලි වන අතර පොකුණෙන් පියවර විසිපහක් පමණ ගිය තැන දිරාගිය අශෝක රුකක් වූ බවත් දක්වයි. මෙහිදී වෙසක්පුර අටවක්දා බෝසතුන් උපන්නේය. ස්ථවිරවාදීහු මෙය පසළොස්වක් යැයි කියති. ලුම්බිනිය හරහා ගලන නදිය තෙල් නදිය යැයි හියූං-සීයෑං දක්වන අතර අද ද ‘තිලාර් නදි’ නමින් මෙම නදිය නම් කර තිබේ.

ලුම්බිනි නාමය හා උයන

මායා දේවියගේ පියා කෝලිය වංශික අංජන රජුය. මව යශෝධරාය. දක්නවුන්ගේ සිත් විලුම්පනය කරන හෙයින් මැය ලුම්බිනි නමින් ප්‍රකට විය. අංජන රජු විසින් සිය දේවියගේ ඉල්ලීම මත මෙම රමණීය උද්‍යානය ඉදිකොට ඇත. එය ලුම්බිනි බිසවට තෑගි ලෙසින් දුන් අතර එතැන් සිට උයන ලුම්බිනි නම් විය. කිඹුල්වත සිට දෙව්දහනුවරට යන මඟ මෙය පිහිටා තිබුණ බව සංස්කෘත සාහිත්‍ය කියයි.මේ සම්බන්ධව තවත් අදහස් වේ. මෙහි මුල්නම ‘රුග්මිණිදාය’ යන්නයි. ‘රුග්මිණි’ යනු විෂ්ණුගේ භාර්යාවකි. ඇයගේ නමින් ශාක්‍ය කුමාරියක් ද ප්‍රකට වන්නට ඇත. ‘රුග්මිනි’ යනු ‘රුම්මිණි’ විය හැකිය. ‘රුග්මිනි’ යන්නෙන් බිඳී ‘ලුම්මිනි’ හෝ ‘ලුම්බිනි’ යන වදන සැකසුන බැවින් රුක්මිණිදාය රුමින්දායි යනුවෙන් හින්දියට හරවාගෙන තිබෙන බවය. ලුම්බිනි යන්නෙහි අර්ථය (good woman of city) යන්නයි. ලුම්බිනි දේවි හා රූපදේවි යන්නෙන් ද ඇය හැඳින්වේ. මේ නිසා රුම්මින්ද යන්නෙන් ද ව්‍යවහාරයට පත්ව පසුව ‘ලුම්මෙන්දෙයි’ ලෙස හා ලුම්බිනි යන්නෙන් ව්‍යවහාරයට පත්වන්නට ඇත යන්න ඇතැම්හු විශ්වාස කරති.
ක්‍රි. ව. 406 මෙම ස්ථානයට පැමිණි චීන ජාතික ෆාහියන් හිමියන් මෙම ස්ථානය ලුම්-මින් යනුවෙන් හඳුන්වයි. හියූං-සීයෑං ලා-ෆා-නී (La-Fa-Ni) යනුවෙන් සඳහන් කරයි. ෆො-කිව්-කී(Fo-kew-ki) ගේ සටහනට අනුව ‘ලුම්බිකනිය’ එක් කළෙක ‘ප්‍රදිමොක්ෂ’ ලෙසින් හඳුන්වනු ලැබූ බව දක්වයි.

සල් වෘක්ෂය හා අශෝක වෘක්ෂය

සිද්ධාර්ථ කුමරු ඉපදුනු වෘක්ෂය ප්ලක්ෂ වෘක්ෂය බව ලලිත විස්තරය කියයි. චීං යුගයේ දී යූඒ-චී භික්ෂුවක් වන සෙනං-ට්සි ‹ (Seng-Tsai)  භික්ෂුව පළමුවෙන් ලුම්බිනියට ආ භික්ෂුව වන අතර උන්වහන්සේ බුදු උපත සිදු වූ අශෝක ගස තවම පවතින බව සඳහන් කරති. ෆාහියන් හිමි දක්වනුයේ අශෝක ගස උන්වහන්සේ එම ස්ථානයට යන විට ද පැවැති බවය. අශෝක රුකක් බව හියූං-සීයෑං වාර්තාවේ දැක්වේ. තමා මෙහි පැමිණෙන විට දිරාපත්වන අශෝක වෘක්ෂයක් පැවැති බව ද කියයි. හන් රාජ වංශයට අයත් සුයි-චිං-සු ග්‍රන්ථය අශෝක වෘක්ෂයට බුද්ධ ජීවිතයේ වැදගත් තැනක් හිමිවන බවත් එමෙන්ම මෙහි පළමු වෘක්ෂය මිය ගිය පසු පැරණි මුල්වලින් එම වෘක්ෂය නැවත හටගත් බවත් දැක්වේ. අශෝකවදානය හා අශෝක්රාජ් සූත්‍රය සිද්ධාර්ථ කුමාරෝප්්පත්තිය අශෝක ගසක් යට සිදුවූ බව සඳහන් කරයි. දිව්‍යාවදානයේ අශෝක රජු සත්‍ය සල්ගස දුටු බව කියයි. කුෂාණ යුගයට අයත් මූර්තියක බුද්ධ උපත දැක්වෙන අතර එහි දැක්වෙනුයේ සල්ගසක් යැයි හන්ටින්ටන් මහත්මිය පෙන්වා දෙයි. සාල වෘක්ෂයක් යට ඉපදුණු බෝසත් උපත දැක්වෙන හුණුගලින් කළ කැටයමක් නාගර්ජුනිකොණ්ඩයෙන් ලැබී තිබේ. කැටයමට නඟා තිබේ. ක්‍රි. ව. 3 / 4 සියවස්වලට අයත් ගල් කැටයමක සල් වෘක්ෂයක් අල්වාගෙන සිටින මායාදේවියගේ රුවක් සහිත බුදු උපත සනිටුහන්ව තිබීම ද බුදු උපත ගැන මතකය යුගකරණය තුළ පැවැති ආකාරය දැක්වීමට නිදසුන් ලෙසින් පෙන්විය හැකිය. බුදු උපත සිදුවූ වෘක්ෂය ගැන අදහස් මූලාශ තුළ මෙසේ පැවැතිය ද ථෙරවාදී සම්ප්‍රදාය පිළිගනු ලබන්නේ සල් වෘක්ෂයක් යට බුදු උපත සිදුවූ බවය.
කලියුග වර්ෂ 2478 වෙසෙක් මසැ පුරපොහෝලත් ඉරිදා උදයාදි එකොළොස් පෑ විනාඩි හතරට වීසා නැකතින් කටක ලග්නයෙන් සිං නවාංශකයෙන් බෝසත් උපත යැයි කෞමාර නාඩිවාක්‍යයේ දැක්වේ. උන්වහන්සේගේ ජීවිත කාලය අවුරුදු 80 මාස 10 දින පහළවක් බව එහිම දැක්වේ.

බුදු උපත ගැන පුරාවිද්‍යාත්මක සාක්ෂි

බුදු උපත සිදුවූ ස්ථානය හා බුදු උපත සිදුවූ ආකාරය ගැන ඇති පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර මෙහි ඓතිහාසිකත්වය හා නිරවද්‍ය බව තවදුරටත් සනාථ කරයි. පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර අතර ක්‍රි. පූ. 250 දී මෞර්යපාලක අශෝක රජු මෙම ස්ථානයට පැමිණ ශිලා ලේඛනයක් පිහිටුවා බුදු උපත මෙහිම සිදු වූ බව එහි සඳහන් කර තිබේ. තමාගේ විසිවැනි රජවර්ෂයේදී මෙම ස්ථානයට ආ බවත් ශාක්‍යමුනි වූ බුදුරදුන් මෙහි ඉපදුනා (බුධ ජාතේ සක්‍යමුනිතී) යැයි ගලින් සලකුණක් කිරීම හා ගල්කුලුණක් එසවීමත් භගවතුන් වහන්සේ මෙහි ඉපදුනු නිසා ලුම්බිනි ග්‍රාමයේ බදු අටෙන් එක දක්වා අඩු කළ බවත් එහි දැක්වේ. අශෝකාවදනයට අනුව උපගුප්ත නම් භික්ෂුවක් සමඟ අශෝක රජු ලුම්බිනියට ආ බවත් උන්වහන්සේගේ උපදෙස් මත මෙම ශිලා ස්ථම්භය හා ලේඛනය පිහිට වූ බවත් දැක්වේ. අශෝක ස්ථම්භය ඉදිරියට තල්ලු වී ගොස් තිබෙනු තමා දුටු බව හියූං-සියෑං දක්වයි. එකළොස්වන - දොළොස්වන සියවස්වල දී පාලරජුන් විසින් නැවත මෙය පිහිටුවනු ලැබූ බවට සාධක ඇතැයි වින්ටර් ස්මිත් පෙන්වා දෙයි.
ලුම්බිනියේ දී අශෝකයන් විසින් ඔසවන ලද ස්ථම්භය අඩි 22 අඟල් 4 ක් උසය. ශිලා ලේඛනය, පාදයේ සිට අඩි 9 අඟල් 8 කි. පාදයේ විෂ්කම්භය අඩි 8 අඟල් 3 කි. ශිලා ලේඛනය ඇති කොටසේ විෂ්කම්භය අඩි 7 අඟල් 6 කි. මුදුනේ විෂ්කම්භය අඩි 6 අඟල් 5 කි. බුදු උපතින් වසර 329 කට පසු අශෝකයන් විසින් කුලුනක් ඔසවා ශිලා ලිපියක් මඟින් බුදු උපත ගැන සටහනක් තැබීම එහි ඓතිහාසික බව වඩාත් තහවුරු කරවන්නකි.
1895 දී ජර්මන් පුරාවිද්‍යාඥයෙකු වන ඒ. ෆිහියුරේ (A. Feuhrer)  විසින් මෙම ස්ථානය පැහැදිලිව පළමුවෙන් හඳුනාගනිමින් ශිලා ලේඛනය සහිත මෙහි ඓතිහාසික වටිනාකම ලෝකයට අනාවරණය කොට ඇත. 1996 කළ කැණීමකින් අශෝකයන් විසින් බුදු උපත සනිටුහන් කරමින් තැම්පත් කළ පාෂාණය මායාදේවි මන්දිරයේ කළ කැණීමෙන් සොයා ගනු ලැබීය. මෙම පාෂාණය දැනට ලුම්බිනි කෞතුකාගාරයේ තැම්පත් කොට තිබේ. එකළොස්වැනි සියවසේ සිට පහළොස්වැනි සියවස දක්වා පාලන කාර්ය්‍යයනයට දායක වූ නාග රාජවංශයේ මලල් රජු විසින් ද මෙම ඓතිහාසික ස්ථානයේ බුදු උපත සනිටුහන් කරනුවස් සිහිවටනයක් තබා ඇත.2013 නොවැ. මස 30 වැනි දින අනාවරණය කළ පරිදි එංගලන්තයේ දුර්හම් විශ්ව විද්‍යාලයේ (Durham University) පුරාවිද්‍යා මහාචාර්ය රොබින් ඛනිංහැම් මහතා ඇතුළු පිරිස විසින් මෙම ස්ථානයේ කළ කැණීමකින් පැරැණි ලීවලින් කළ වැටක් සොයාගත් අතර කාබන් 14 පර්යේෂණ ක්‍රමවේදයට අනුව මෙහි දින නියමයන් ක්‍රි. පූ. 550 ට අයත් බව ස්ථිරවම ඔහු විසින් නිගමනය කොට තිබේ. මෙම වැට පැරැණි සල් වෘක්ෂය වටා ඉදිකරන්නට ඇති අතර ඒ අනුව බුදුබවට පත්ව කෙටි කලකින් මෙම ස්ථානයේ ආගමික කටයුතු ආරම්භ කරන්නට ඇතැයි රොබට් ඛනිංහෑම් මහතා විශ්වාස කරයි. නේපාලයේ කොෂ් ප්‍රසාදි ආචාර්ය යන පුරාවිද්‍යාඥයාද ඇතුළු කණ්ඩායමක් ද මේ සඳහා සහාය ලබාදුන්හ. මෑතකදී අනාවරණය කරගත් මෙම විද්‍යාත්මක සාක්ෂි බුදු උපත නිවැරැදි කර ගැනීමට මෙන් දින නියමයන් ගැන මතුව පැවැති වැරැදි මත දුරුකරලීමටත් සාහිත්‍යගත මූලාශ්‍රවල ඇති නිරවද්‍ය බව වඩාත් තහවුරු කරලීමටත් හේතු වූ බව ද කිව යුතුය.