1920 දී බ්‍රිතාන්‍ය පාලකයන් විසින් අනගාරික ධර්මපාලතුමා නිවාස අඩස්සියේ වසර හතක් සිරකර තබන ලද අවස්ථාවේ ගොඩනඟන ලද ඉන්දියානු මහාබෝධි සමාගමේ මූලස්ථානය වූ ශ්‍රී ධර්මරාජික චේතිය විහාරය අද ලෝක උරුමයක් හැටියට නම් කර ඇත.

ජය ශ්‍රී මහා බෝරදුන් විනාශ කළවුන්


බෝධීන් වහන්සේ සමග අපේ රටේ බෞද්ධයන්ට ඇත්තේ අපූර්ව සබඳතාවකි. ලෙඩක් දුකක් කරදරයක් ග්‍රහ අපලක් ඇති වුවහොත් බෞද්ධයන් පිහිට පතන්නේ බෝධීන් වහන්සේගෙනි. ගමේ පන්ස‍ලේ බෝධීන් වහන්සේ වැඳ පුදාගත් බෞද්ධයන්ට ඊළඟට තිබෙන ලොකුම සිහිනය දඹදිව වන්දනාවේ ගොස් ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදාගෙන පහන් සංවේගය උපදවා ගැනීමටය. ඒ උන්වහන්සේ බුදුන්ගේ ජීවමාන සංකේතයක් ලෙස සලකන බැවිනි. බොහෝ දෙනෙකුට එම අවස්ථාව ලැබෙන්නේ ජීවිතයේ සැඳෑ සමය ගතකරන අවස්ථාවේදීය.

දඹදිව ගොස් ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදාගෙන මෙරටට පැමිණෙන සැදැහැවත්තු තුටු කඳුළු වගුරවන්නේ සිය දිවියේ ලොකුම පැතුම ඉටුකර ගත්තාක් මෙනි. ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිළිබඳ එවැනි අපිරිමිත භක්තියකින් ගරු බුහුමන් දැක්වූ බෞද්ධයෝ මෑතකදී මහ හඩින් හඬා වැළපුනේ දුක්මුසු පුවතක් අසාය. ඒ උන්වහන්සේ ඉලක්ක කරගෙන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූ බව දැනගැනීමෙනි.

මීට පෙරද දඹදිව බුද්ධගයාවේ වැඩ සිටින ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ නම් අවස්ථා ගණනාවකදීම සතුරු උවදුරුවලට මුහුණ දී විනාශ වූ සේක.

බුද්ධගයාව පිහිටා ඇත්තේ ඉන්දියාවේ මධ්‍ය දේශයට අයත් බිහාර් ප්‍රාන්තයේය. බුද්ධකාලයේ මෙම පෙදෙස දඹදිව සිව් මහා ජනපද අතරින් එකක් වූ මගධයේ උරුවෙල් දනව්වට අයත් විය. ලොව පවත්නා වෘක්ෂ අතර 'වහන්සේ' යන සජීවී ගෞරවනීය ඇමතුම ලබන එකම වෘක්ෂය ශ්‍රී මහා බෝධියයි.
සැදැහැවත් කුල පුත්‍රයකු විසින් දැකබලාගෙන පහන් සංවේගය උපදවා ගත යුතු ස්ථාන හතරක් බුදුන්වහන්සේ මහා පරිනිර්වාණ සූත්‍රයෙහි වදාළෝය. ඉන් එක් ස්ථානයක් වන්නේ බුද්ධගයාවෙහි ජය ශ්‍රී මහා බෝධියයි.

ශ්‍රී මහා බෝධියට ද ඉතිහාසයේ විවිධ අවස්ථාවලදී හිරිහැර රැසකට මුහුණපාන්නට සිදු විය. ඒ අතරින් පළමු සතුරු ක්‍රියාව වාර්තාවන්නේ ක්‍රි.පූ. 3වැනි සියවසේදී ධර්මාශෝක රජ සමයේදීය. එතුමාණන් බෞද්ධ සිද්ධස්ථාන වැඳ පුදා ගනිමින් වන්දනාවේ යන අතර, ශ්‍රී මහා බෝධිය කෙරෙහි පැහැදී අගනා රාජාභරණ ද එයට පූජා කළේය. මේ වන විට ධර්මාශෝක රජුගේ අසන්ධිමිත්‍රා නම් බෞද්ධ බිසව ජ් සිටි හෙයින් ඔහු සරණ පාවාගෙන සිටියේ මිසදිටු අදහස් ඇති තිස්සාරක්ඛා නම් බිසවකි. රජු අගනා ආභරණ පවා පූජා කරමින් ශ්‍රී මහා බෝධීන් වහන්සේට පුද සත්කාර කරනු දුටු ඇය කෝපයෙන් වෙළී ගියාය.
ඇය මඩු කටු විෂ යොදා ශ්‍රී මහා බෝධිය විනාශ කරවූ බව මහාවංශයේ විසිවැනි පරිච්ජේදයේ සඳහන්ය. රජු ඉන් මහත් සංවේගයට පත්ව කඳුළු සලමින් හැඬුවේය. විනාශ වී මැරී ගිය බෝධි මූලයට අශෝක රජු කිරි කළ දහසකින් පුද පූජා පැවැත්වූ බවත්, ඉන්පසු නැවත අංකුරයක් පැළ වූ බවත් ඉතිහාසයේ සඳහන් වේ.

එනමුත් තවත් සියවස් 9ක් ගතවන විට දෙවනුව රෝපණය වූ බෝධියටද තර්ජන ඇති විය. ක්‍රි.ව. 6වන සියවසේදී සසංක නම් මිත්‍යාදෘෂ්ටික රජු බෝධිය විනාශ කර එහි මුල් පවා උදුරා දැම්මවූයේය. පසුව මේ සිද්ධිය දැනගත් මගධ රාජ්‍යයේ පූර්වවර්ම නම් රජු බෝධිය එළදෙනුන් දහසකගේ කිරෙන් නහවා ප්‍රකෘතිමත් කළ බව පැවසේ. ඒ ශ්‍රී මහා බෝධියේ තුන්වන රෝපණයයි. එනමුත් යළිත් වරක් බෝධියද විනාශ කෙරිණි. ඒ මිහිරකුල නම් රජකු විසිනි. දැනට බුද්ධගයා බෝධි මූලයෙහි වැඩ වෙසෙමින් වන්දනාවට ලක්වන්නේ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි අංකුරයකින් 19වන සියවසේ රෝපණය කරන ලද බෝධි වෘක්ෂයකි. ඒ අනුව දඹදිව ශ්‍රී මහා බෝධිය කෙරෙහි ශ්‍රී ලාංකික අපටද විශේෂ නෑදෑකමක් තිබේ.

බුද්ධගයා භූමිය ක්‍රි.ව. 1202න් පසු මුස්ලිම් ආක්‍රමණයකට ගොදුරු විය. ඉන්පසුව මේ පුදබිම 1727දී ලාල්ගිරි පකීර් නම් මහන්තාවරයකුට අයත් විය. මේ බව දැනගත් අනගාරික ධර්මපාල තුමා 1891දී ඉන්දියාවට ගොස් බුද්ධගයාව ජරාජීර්ණවී තිබෙන අයුරු දැකගත්තේය. ඉන්පසුව කොළඹ මහාබෝධි සමාගම පිහිටුවා සිංහලයනි අවදිවව් බුද්ධගයාව බේරාගනිව් යනුවෙන් සිංහනාද කර බුද්ධගයාව බේරාගැනීමට කටයුතු කළේය. 1949දී එහි ප්‍රතිඵල ලැබෙනා විට ධර්මපාල තුමා ජීවතුන් අතර සිටියේ නැත.