1920 දී බ්‍රිතාන්‍ය පාලකයන් විසින් අනගාරික ධර්මපාලතුමා නිවාස අඩස්සියේ වසර හතක් සිරකර තබන ලද අවස්ථාවේ ගොඩනඟන ලද ඉන්දියානු මහාබෝධි සමාගමේ මූලස්ථානය වූ ශ්‍රී ධර්මරාජික චේතිය විහාරය අද ලෝක උරුමයක් හැටියට නම් කර ඇත.

මනුෂ්‍යත්වයේ අග්‍ර ඵලය


එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙසක් පුර පසළොස්වක පොහොය දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළ අවස්ථාවේ දී කැඳවූ විශේෂ සැසිය අමතමින්, 2000 මැයි 15 දා, පූජ්‍ය බෝධි ස්වාමීන් වහන්සේ විසින් පවත්වන්නට යෙදුණු දේශනයේ අවසාන කොටස යි. ඉකුත් ජූනි කලාපයේ පටන් මේ දේශන පිටපතෙහි සිංහල පෙරැළිය කොටස් වශයෙන් අප සඟරාවේ පළ විය.

වෙසක් දිනයෙහි සැමරෙන, මහා ප්‍රාඥයාගේ ජීවිතයෙහි තෙවන ශ්‍රේෂ්ඨ සිදුවීම පරිනිර්වාණය හෙවත් අපවත් වීම ය. බුදුන් වහන්සේගේ ජීවිතයෙහි අවසාන දින කිහිපය මහා පරිනිර්වාණ සූත්‍රයෙහි ඉතා පැහැදිලි ව දැක්වේ. පුරා හතළිස්පස් වසරක් සක්‍රිය ලෙස ධර්මය ඉගැන්වීමෙහි නිරත ව සිටි බුදුන් වහන්සේට අසූවැනි වියේ දී සිය අවසානය ළඟා වී ඇති බව වැටහුණේ ය. මරණ මඤ්චකයේ වැතිර සිටි බුදුහු තමන්ගෙන් පසු අනුප්‍රාප්තිකයකු පත් කිරීම ප්‍රතික්ෂේප කළ හ; පිරිනිවීමෙන් පසු සිය ධර්මය මාර්ගෝපදේශකත්වයෙහි ලා සලකන ලෙස වදාළහ; සර්වඥයන් වහන්සේ කෙනකුගේ භෞතික ශරීරය ද ඇතුළු ව සියලු තත්ත්වාරෝපිත දෑ අනිත්‍ය යි යන, අවබෝධ කිරීමට දුෂ්කර සත්‍යය නැවත නැවතත් මතක් කළහ; ධර්මය හා ධර්ම මාර්ගය පිළිබඳ ව යම් සැකයක් විසඳාගත යුතු යමක් ඇතොත් මේ අවසන් මොහොතෙහි වුව තමන්ගෙන් විමසන ලෙස උපදෙස් දුන්හ; අප්‍රතිහත උත්සාහයෙන් සිය ඉලක්කය වෙත ගමන් කරන ලෙසට ද ඇරියුම් කළහ; ඉක්බිති, අතිශයින් සන්සුන් ව, තත්ත්වාරෝපිත පැවැත්මෙහි කිසිවක් ම ඉතිරි නොකොට පිරිනිවන් පා වදාළහ.
බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසු රහත්ඵලයට පැමිණ සිටි බුදුන් වහන්සේගේ ශිෂ්‍යයන් පන්සීය දෙනකු උන් වහන්සේගේ ධර්මය අනාගතය සඳහා සුරක්ෂිත කිරීම පිණිස රජගහනුවර දී සංගායනාවක් පැවැත්වූ හ. පාඨග්‍රන්ථ මෙසේ එක්රැස් කිරීම මගින් අනාගත පරම්පරා සඳහා මාර්ගෝපදේශකත්වය පිණිස ධර්මය ක්‍රමානුකූල ව සකස් කිරීම සිදු විය. බුදුන්ගේ පරිනිර්වාණයෙන් පසු ගෙවී ගිය සියවස් දෙක තුළ, උන් වහන්සේගේ ධර්මය සෙමෙන් පැතිරෙන්නට වුව ද, එහි බලපෑම බොහෝ දුරට ඉන්දියාවේ ඊසාන දිග කොටසට සීමා වී පැවතිණි. ඉක්බිති, ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ දී බුද්ධ ධර්මයේ ඉරණම පරිවර්තනයකට භාජනය කරමින්, එය විශ්වීයදහමක් බවට පත් වීමේ මගට පිවිසීමට තුඩුදුන් සිද්ධියක් හටගත්තේ ය.
දහස් ගණන් ජනයා මරණයට පත් කරන ලද සංග්‍රාමදාමයකින් පසු, මෞර්ය රජ පෙළපතෙහි තුන්වන අධිරාජයා වූ අශෝක, පීඩාවට පත් සිය හෘදය සාක්ෂියට සැනසීමක් ලබාගැනීම පිණිස බුදුදහම වැලඳගත්තේ ය. බලය සහ පීඩනය මත නො ව, ධර්මිෂ්ඨකම මත ගොඩනැගෙන සමාජ ප්‍රතිපත්තියක් ධර්මය තුළින් පැතිරවිය හැකි බව ඔහු දුටුවේ ය. සිය නව ප්‍රතිපත්තිය ඔහු තම රාජධානිය පුරා පර්වත හා කුලුනු මත කොටන ලද ආඥාවන් ලෙස ප්‍රකාශයට පත් කරවී ය. පෞද්ගලික ජීවිතයේ දී බුදු දහම පිළිපදින අතර, සිය පෞද්ගලික විශ්වාසය අන්‍යයන් මත බලෙන් පැටවීමට ඔහු උත්සාහ නොකළේ ය. දෛනික ජීවිතයේ දීත්, මරණින් පසු යහපත් නැවත ඉපදීමක් පිණිසත් ධර්මිෂ්ඨ නීතිය ලෙස එතුමා විසින් ප්‍රවර්ධනය කරන ලද්දේ ධර්මය පිළිබඳ භාරත සංකල්පය යි.
අශෝකගේ අනුශාසකත්වයෙන්, භික්ෂූහු රාජධානියේ අගනුවර දී ධර්ම සංගායනාවක් පැවැත්වූ අතර, ඉන්දීය උපමහාද්වීපය පුරා ද යාබද රාජ්‍යවලට ද බෞද්ධ ධර්මදූතයන් වහන්සේ යැවීමට තීරණය කැරිණි. අසුකාලීන බෞද්ධ ඉතිහාසය අධ්‍යයනය කිරීමෙන් තහවුරු වන පරිදි මේ අතරින් අතිශය සාර්ථක ධර්මදූත මෙහෙය වූයේ අශෝකගේ පුත් මහින්ද භික්ෂුව ද, ඉන් වැඩිකලක් ඉක්මෙන්නට පෙර දියණි සංඝමිත්තා තෙරණිය ද ශ්‍රී ලංකාවට පැමිණි ගමන යි. මේ රාජකීයයන් දෙපළ බුදු දහමෙහි ථේරවාද ස්වරූපය ලංකාවට රැගෙන ගිය අතර, ඒ ධර්මය අද දක්වා ම එරට තුළ (ශ්‍රී ලංකාවේ) සුරැකි ව පවතී.
ක්‍රිස්තු පූර්ව 1 වැනි සියවසෙහි පමණ පටන් බුදු දහමෙහි නව ස්වරූපයක් කෙමෙන් මතු වන්නට විය. මෙම නව ස්වරූපය වෙනුවෙන් පෙනී සිටියෝ ‘මහායානය’ නමින් හැඳින්විණි. මහායානිකයන් විසින් මුල්කාලීන නිකායයන් ‘කුඩායානය’ හෙවත් ‘හීනයාන’ නමින් හඳුන්වන ලදි. වර්තමානයෙහි විශ්වීය බෞද්ධ පරමාදර්ශය ලෙස සැලැකෙන බෝධිසත්ත්ව චරිතය පිළිබඳ ව මහායානිකයන් වැඩි අවධානයක් යොමු කළ අතර, බුද්ධිය යනු හිස් බව හෙවත් ශූන්‍යත්වය, සියලු ප්‍රපඤ්චයන්ගේ අවසන් ස්වභාවය පිළිබඳ අවබෝධය යැ යි ඔවුහු විප්ලවීය අර්ථ දැක්වීමක් කළහ.
මහායාන ධර්ම ග්‍රන්ථ නාගාර්ජුන, අසංග, වසුබන්ධු යන ධර්මකීර්ති වැනි දීප්තිමත් දාර්ශනිකයන් විසින් ඉදිරිපත් කරන ලද දර්ශනවාදයන්ට අනුප්‍රාණය සැපයී ය. සාමාන්‍ය පොදු භක්තිකයන් සඳහා මහායාන පාඨ ග්‍රන්ථවලින් සාකච්ඡා කරන ලද්දේ අහසෙහි වැඩවසන, විශ්වසනීය ලෙස භක්තිකයන්ගේ පිහිටට පැමිණෙන බුදුවරුන් සහ බෝධිසත්ත්වවරුන් පිළිබඳ ව ය. ක්‍රිස්තු වර්ෂයන්හි මුල් සියවස් හය තුළ දී මහායානය චීනයට ද, චීනයෙන් වියට්නාමයට, කොරියාවට හා ජපානයට ද පැතිර ගියේ ය. මෙම දේශයන්හි දී බුදු දහම මුල් ඉන්දීය දහමට වඩා ඒ ඒ දේශයට ගැළපෙන සේ ගුරුකුලවලට බෙදී ගියේ ය. මේ අතරින් වඩා ප්‍රකට වන්නේ වත්මන් පුළුල් බටහිර නියෝජනය වන සෙන් බුදු දහම යි.
භාරතයේ දී අට වන සියවසෙහි පමණ බුදුදහම එහි තෙවන ඓතිහාසික ස්වරූපය දක්වා පරිණාමය වෙමින්, ‘වජ්‍රයානය’ බිහි විය. වජ්‍රයානයට හෙවත් දියමන්ති යානයට පදනම් වන්නේ තන්ත්‍ර නම් වූ ගූඪ පාඨ ග්‍රන්ථ යි. වජ්‍රයාන බුදුදහම මහායානයේ සිද්ධාන්තමය යථාදර්ශය පිළිගත් අතර, ඥානාවබෝධය සඳහා මාර්ගය කඩිනම් කිරීමට අපේක්ෂිත ඉන්ද්‍රජාලික ඇදහිලි, ගුප්ත සංකේත සහ සියුම් යෝග විධික්‍රම ඊට එකතු විය. වජ්‍රයානය උතුරු ඉන්දියාවේ සිට නේපාලය, ටිබැටය සහ සෙසු හිමාලීය දේශවලට ද පැතිර ගිය අතර, අද ටිබැට බුදුදහම තුළ මේ ලක්ෂණ වෙසෙසින් දැකිය හැකි ය.
බුදුදහමෙහි දීර්ඝකාලීන ඉතිහාසය පුරා එහි පැතිර යෑම පිළිබඳ සුවිශේෂ ලක්ෂණය වන්නේ සාමකාමී ආකාරයෙන් සමස්ත ජනකායන්ගේ පක්ෂපාතිත්වය ඊට දිනාගත හැකි වීම ය. බුදු දහම සැම කල්හි ම පැතිර ගියේ එය බලයෙන් ආරෝපණය කරනු ලැබීම නිසා නො ව, ප්‍රඥප්තීන් හා නිදර්ශන මාර්ගයෙනි. ධර්මය පතුරුවාහැරීමේ අරමුණ වූයේ අන්‍යාගම්වලින් දහමට හරවාගැනීම නො ව, සැබෑ සතුටට හා සාමයට මාර්ගය සෙසු ජනයාට ද පෙන්වා දීම ය. ඕනෑ ම රටක හෝ ප්‍රදේශයක ජනතාවක් බුදුදහම වැලඳගත් විට එය ඔවුන්ට ආගමකට වඩා, පරිපූර්ණ ජීවිතයක මූල ප්‍රභවයක් බවට පත් විය. අන් ඕනෑ ම සංස්කෘතියක් සමග සැසඳිය හැකි සාහිත්‍ය කෘති, සිතුවම් හා මූර්ති සඳහා බුදුදහමෙන් අනුප්‍රාණය ලැබුණේ ය. සමාජ, දේශපාලන හා අධ්‍යාපනික ආයතන එමගින් හැඩගස්වනු ලැබිණි. පාලකයන්ට හා රටවැසියන්ට උපදෙස් ඉන් සැපයිණි. දහමෙහි අනුගාමිකයන්ගේ ජීවිතවල ක්‍රමානුකූල භාවයට හේතු වන ආචාර ධර්ම, සිරිත්-විරිත් දහම මගින් හැඩ ගස්වන ලදි. ශ්‍රී ලංකාවේ සිට මොංගෝලියාව දක්වා, මොංගෝලියාවේ සිට ජපානය දක්වා එකිනෙක බෞද්ධ ශිෂ්ටාචාරයන් අතර පුළුල් පරතරයක් පැවතිය ද, ඒ සෑම ශිෂ්ටාචාරයක් ම, බෞද්ධ යැ යි එක් වන ම හඳුනාගත හැකි සුවිශේෂ ස්වභාවයක් උසුලයි.
ඉන්දියාවෙන් බුදු දහම අතුරුදන් ව ගෙවී ගිය සියවස් ගණනාව පුරා විවිධ බෞද්ධ නිකායවලට අයත් පිරිස් එකිනෙකාගේ පැවැත්ම පිළිබඳ දැනීමකින් තොර ව මුළුමනින් ම හුදෙකලාව කල් ගෙවූ හ. කෙසේ වුව ද, විසිවන සියවසේ මැද භාගයේ පටන් විවිධ සම්ප්‍රදායන්ට අයත් බෞද්ධයෝ අන්‍යොන්‍ය ව කටයුතු කිරීමට ද ඔවුන්ගේ පොදු බෞද්ධ අනන්‍යතාව හඳුනාගැනීමට ද පෙලඹී සිටිති. ඉන්දීය බුදුදහම අභාවයට යෑමත් සමග දැන් ප්‍රථම වතාවට බෞද්ධ ‘යාන’ තුනේ අනුගාමිකයෝ එක ම භූගෝලීය දේශයක් තුළ සහජීවනයෙන් කල් ගෙවති. මේ සමීප සබඳතාව හේතුවෙන් සියලු සාම්ප්‍රදායික නිකායන්ගෙන් බැහැර වූ නව ආරේ දෙමුහුන් නිකායන් බිහි වීමට ඉඩ තිබේ. අනාගතය පිළිබඳ ව අනාවැකි පළ කිරීම සඳහා බටහිර බුදුදහම තවමත් ළාබාල ය. එහෙත්, ධර්මය බටහිරින් ඉවත නොයන බව ද, අන්‍යොන්‍ය සුපෝෂණය පිණිස එය බටහිර සංස්කෘතිය සමග පෑහී ක්‍රියා කරන බව ද අපට විශ්වාස ය.
මගේ දේශනයෙහි මේ අවසාන කොටසේ දී මම, නව සියවසක එළිපතෙහි සිටගෙන සිටින අපට බුදුන් වහන්සේගේ ඉගැන්වීම්වල අදාළත්වය කෙටියෙන් සාකච්ඡා කිරීමට අදහස් කරමි. බුදුදහම පූර්ණ ‘ආගමක්’ ලෙස පරිහරණය කරනු නොලැබුව ද, පුළුල් පරාසයක විහිදෙන විෂයයන් ගණනාවකට – දර්ශනයේ සිට මනෝ විද්‍යාව තෙක් ද, වෛද්‍ය විද්‍යාවේ සිට පරිසර විද්‍යාව තෙක් ද - ප්‍රතිපත්තීන් හැඩගැස්වීමෙහි ලා බෞද්ධ පිළිවෙත්වල අනුමතීන් පිළිබඳ ව අවධානය යොමු කිරීමට කැමැත්තෙමි.
මනුෂ්‍ය වර්ගයා විද්‍යාවෙන් හා තාක්ෂණයෙන් විශාල දියුණුවක් අත්පත් කරගෙන සිටිය ද, ඒ වර්ධනයන් හේතුවෙන් ජීවන තත්ත්වයන් ඉතා උසස් තලයකට පත් ව තිබුණ ද අප මුහුණ පා සිටින ගෝලීය ගැටලු විසඳාගැනීම පිණිස, ස්ථාපිත ව්‍යූහයන් තුළ අප දරන දැඩි උත්සාහයන් පවා එම ගැටලු මගින් ම සරදමට ලක් ව තිබේ. වාර්ගික හා ආගමික ස්වභාවයේ කලාපීය ගැටුම්, න්‍යෂ්ටික අවි භාවිතය පැතිරීම, මිනිස් අයිතිවාසිකම් පිළිබඳ ව නොතැකීම, දුප්පතුන් හා පොහොසතුන් අතර පරතරය පුළුල් වීම, මත්ද්‍රව්‍ය මෙන් ම ස්ත්‍රීන් හා දරුවන් එහෙ-මෙහෙ සංසරණය වීම, මිහිතලයේ ස්වාභාවික සම්පත් ක්ෂය වීම, ස්වාභාවික පරිසරය විනාශ වීම මෙම ගැටලු ය. මේවා පිළිබඳ ව සිත යොමු කරන විට පෙනී යන කාරණය නම්, එම ගැටලුවල පවත්නා සහජාත ලක්ෂණය යි. මේවායෙහි බාහිරින් දිස් වන විවිධත්වයට යටින් පිරික්සා බැලූ කල ඒවා පොදු මූලයක බහුවිධ මානයන් බව - අපගේ සමාජ ජීවියාට වැලඳෙන ආධ්‍යාත්මික මාත්සරික අර්බුදයන් බව - පෙනේ. මෙම පොදු මූලය පොදු මිනිස් ප්‍රජාවගේ දීර්ඝ කාලීන යහපතට වඩා තමාගේ පටු කෙටිකාලීන වාසිය පමණක් තැකීම (අප අයත් ව සිටින සමාජ හෝ වාර්ගික කණ්ඩායම්වල ඕනෑ-එපාකම් ද ඇතුළු ව) සඳහා දක්වන දැඩි පෙලඹුම ලෙස කෙටියෙන් විස්තර කළ හැකි ය. අපට පීඩා ගෙන දෙන සමාජ ව්‍යාධීන් පිටුපස පවතින බලවත් මිනිස් ප්‍රේරකයන් පිළිබඳ ව සඳහන් නොකර එම ව්‍යාධීන් සම්භාරයට හේතු දැක්විය නොහැකි ය. මිනිසා එකිනෙකා පරයා යෑමට පොලඹවන, අවසානය විනාශකාරි වන මේ ප්‍රේරකයන් හැම විට ම අප යොමු කරවන්නේ භේද-භින්නකාරී, සීමිත ප්‍රතිඵල කරා ය.
මෙම අවුලෙන් ගැලවීම පිණිස බුදුන් වහන්සේගේ ඉගැන්වීම් අපට අගනා මෙවලම් (බධධතඵ) දෙකක් හඳුන්වාදෙයි. එකක් නම් මනුෂ්‍යයාගේ දුක පැනනඟින මනෝවිද්‍යාත්මක උල්පත් පිළිබඳ ව ප්‍රායෝගික ව විශ්ලේෂණය කිරීම යි. අනෙක නම් නිශ්චිත ව ම ඉදිරිපත් කැරෙන සදාචාරාත්මක හා මානසික පුහුණුව යි. අපගේ පෞද්ගලික හා සමාජ ස්ථරයේ දී මනුෂ්‍යයාගේ දුක පැනනගින සැඟවුණු උල්පත් වන්නේ ‘අකුසල මූලයන්’ ලෙස හැඳින්වෙන ලෝභය, ද්වේෂය හා මෝහය යි.
සාම්ප්‍රදායික බෞද්ධ ඉගැන්වීම්වල දී මෙම අකුසල මූලයන් පුද්ගලයාගේ දුකට හේතු වන බව දැක්වෙයි. එසේ වුව ද, පුළුල් ලෙස බැලූ විට මේවා සමාජ, ආර්ථික සහ දේශපාලන ව්‍යසනයන්හි ද මූලයන් බව අපට දැකගත හැකි වේ. කෑදරකම හේතුවෙන් ජනතාව හුදු පාරිභෝගිකයන් හෝ වෙළෙඳ භාණ්ඩවල තත්ත්වයට පහත වැටුණු ලෝකය, විශ්ව වෙළෙඳපොළකි. අනාගත පරම්පරා කෙරෙහි තැකීමක් නැති ව ම අපේ ග්‍රහලෝකයේ සම්පත් කොල්ලකනු ලබමින් තිබේ. වෛරය හේතුවෙන්, ජාතික හා වාර්ගික වෙනස්කම් සැකය හා එදිරිවාදිකම් පුපුරා-හැලෙන භීෂණයන්හි ද, නොනිමෙන පළි ගැනීම්, බෝ වන සැක-සංකා හා එදිරිවාදිකම්වල තෝතැන්නක් බවට ද පෘථිවිය පත් ව ඇත. කෑදරකමෙන් හා වෛරයෙන් උසිගන්වන ලද ප්‍රතිපත්තීන් සාධාරණීකරණය කිරීම පිණිස ඉදිරිපත් කැරෙන මිථ්‍යා විශ්වාසයන්ට හා දේශපාලන මතවාදයන්ට මෝහය මගින් රුකුල් සැපයෙයි.
වත්මන් ලෝකයෙහි පැතිර පවත්නා බහුවිධ භීෂණයන් හා අසාධාරණයන්ට එරෙහි ව ක්‍රියා කිරීම පිණිස සමාජ ව්‍යූහයන්හි සහ ප්‍රතිපත්තීන්හි වෙනස්කම් සහතික ව ම අවැසි වුව ද, එවැනි වෙනස්කම් පමණක් සැබෑ සාමය හා සමාජ ස්ථායීතාව සහිත යුගයක් බිහි කිරීම පිණිස ප්‍රමාණවත් නො වේ. බෞද්ධ දර්ශනයෙහි පිහිටමින්, වඩාත් ම අවශ්‍ය කාරණය වන්නේ සෙස්සන් තමන්ගෙන් නොවෙනස් යැ යි සැලකීම බව මම පවසමි. දුෂ්කර වුව ද, අප ස්වාර්ථය පිළිබඳ තදන්තර රාවයෙන් ඈත් වී, සියලු දෙනාගේ ම යහසාධනය තමාගේ යහපත තරම් ම වැදගත් ය යන විශ්වීය මතයකට එළඹිය යුතු ය. එනම්, වර්තමානයෙහි අප-කැප ව සිටින ආත්මකේන්ද්‍රීය හා වර්ග කේන්ද්‍රීය ආකල්පයන්ගෙන් ඈත් වී, ඒ වෙනුවට, සියල්ලන්ගේ ම යහසාධනයට ප්‍රමුඛත්වයක් දෙන ආචාරධර්මයක් වැලඳගත යුතු වෙමු.
මෙවැනි ජගත් කේන්ද්‍රීය ආචාරධර්ම මාලාවක් සකසාගත යුතු වන්නේ අකුසල මූලයන් තුනට පිළියම් වන නිර්ණායක තුනක් මත ය. 1. විශ්වීය ත්‍යාගවන්ත භාවය, උපකාරශීලිත්වය හා අන්‍යොන්‍ය සහයෝගය මගින් අයුතු, සූරාකනසුලු කෑදරකම ජය ගත යුතු ය.
2. කරුණාව, ඉවසීම, සමාව දීම, යහ ගුණය ඇතුළත් ප්‍රතිපත්තියකින් වෛරය හා පළි ගැනීම ජය ගත යුතු ය.
3. අපේ ලෝකය, එකිනෙකා මත යැපෙන, එකට ගෙතුණු සමස්තයක් වන බැවින් කොතැනක හෝ සිදු වන වගකීම් රහිත ක්‍රියාවකින් ලොව සෑම කෙනකුට ම එහි අනිසි ප්‍රතිඵල අත්විඳින්නට සිදු විය හැකි බව වටහාගත යුතු ය.
ආචාර ධර්මීය පරමාදර්ශයකින් හෝ චිත්තාපරවශ අභිලාෂයකින් හෝ මෙම ජගත් කේන්ද්‍රීය ඇරියුම හට නොගනී. ඒ සඳහා ශක්තිමත් ප්‍රායෝගික පදනමක් අවැසි ය. අපගේ පටු ස්වාර්ථයන් හඹා යෑම පුළුල් වන විට අපේ සැබෑ දීර්ඝකාලීන අවශ්‍යතාව කඩාවැටේ. මන්ද: එවන් ප්‍රවේශයකින් අප සම්මාදම් වන්නේ සමාජ ඒකාබද්ධතාව බිඳදැමීමට හා පරිසර විනාශයට ය; අප හිඳ සිටින අත්ත අප විසින් ම කපා-හෙළීමට ය.
පොදු යහපත සඳහා පටු ස්වාර්ථය පසෙක ලෑම අවසානයේ සමාජ සුසංගතතාව, ආර්ථික සාධාරණත්වය හා සමතුලිතතාව සුරැකෙන පරිසරය මත පදනම් වූ අපගේ ම සැබෑ යහපත පිණිස ය.
ලොව සියලු දෑ අතරින් යහපත හා අයහපත යන දෙකට ම වඩාත් ම බලපෑමක් ඇති කරන්නේ මනස බව බුදුහු වදාරති. ජනතාව අතර ද, ජාතීන් අතර ද සැබෑ සාමය හටගන්නේ මනුෂ්‍යයන්ගේ හදවත් තුළ වැඩෙන සාමය හා හොඳ හිත ආශ්‍රයෙනි. එවැනි සාමයක් හුදු භෞතික, ආර්ථික සංවර්ධනයෙන් සහ නව තාක්ෂණික නිමැවුම්වලින් පමණක් දිනාගත නොහැකි ය. ඒ සඳහා සදාචාර හා මානසික සංවර්ධනය අවැසි ය. සාමය හා සාමග්‍රිය දෙසට ලෝකය හැරවිය හැක්කේ අප ඒ අතට වෙනස් වීමෙන් ම පමණි. හැකිළෙමින් පවතින මෙම ග්‍රහලෝකය මත අපට සැනසීමෙන් ජීවත් වීම පිණිස නම් අප මුහුණදිය යුතු අභියෝගයක් තිබේ. එයින් අපට පලා යා නොහැකි ය. එම අභියෝගය වන්නේ අප අප ම අවබෝධ කරගැනීම හා අප දමනය කරගැනීම ය.
බෞද්ධ ඉගැන්වීම් සහ බෞද්ධ ධර්මය මුළුමනින් ම වැලඳගැනීමට සූදානම් නොවන අයට පවා බුදුන්ගේ ඉගැන්වීම් වෙසෙසින් ම කාලීන වන්නේ මෙහි දී ය. සදාචාරමය හා මානසික පුහුණුව සඳහා ප්‍රායෝගික මාර්ගයක් යෝජනා කිරීමෙන්, ලෝකයේ ගැටලුවලට පිළියම් යෙදීම සඳහා අපට ප්‍රවේශ විය හැකි එක ම ස්ථානය මනස බව උන් වහන්සේ පෙන්වා දෙති. අපගේ ආගමික විශ්වාසය කුමක් හෝ වේවා, අපේ ලෝකය සාමයෙන් පිරි, ජීවත් වීමට වඩා සුහදශීලි තැනක් කිරීමට අවශ්‍ය වන්නා වූ නිර්ණායක, බුදුන් වහන්සේගේ ඉගැන්වීම් අපට සපයයි.