1920 දී බ්‍රිතාන්‍ය පාලකයන් විසින් අනගාරික ධර්මපාලතුමා නිවාස අඩස්සියේ වසර හතක් සිරකර තබන ලද අවස්ථාවේ ගොඩනඟන ලද ඉන්දියානු මහාබෝධි සමාගමේ මූලස්ථානය වූ ශ්‍රී ධර්මරාජික චේතිය විහාරය අද ලෝක උරුමයක් හැටියට නම් කර ඇත.

බුදුන් වහන්සේ උපන් දේශයට සැදැහැ සිතින්...

දඹදිව බුදන් උපන් දේශය සෑම බෞද්ධයකු විසින් ම තම ජීවිතයේ දී එක් වරක් හෝ ගොස් දැකබලා වන්දනාමාන කළ යුතු ම ස්ථානයක් වශයෙන් හැඳින්විය හැකිය.

 සිදුහත්කුමරු උපන් ස්ථානය
ශ්‍රී ලංකාවේ සිට ගුවන් මඟින් නව දිල්ලියට පැමිණි අප දිනක් එහි නැවතී සිට කි. මී. 200ක් පමණ දුර ගෙවා අග්‍රා වෙත ගොස් එහිත් දිනක් නැවතී තවත් කි. මී. 175 ක් පමණ ගොස් දැන් පැමිණ ඇත්තේ “සංකස්ස පුරයටයි.”
සංකස්ස පුරයේ විශේෂත්වය වන්නේ බුදුරජුන් තව්තිසා දෙව්ලොවට වැඩම කොට තුන් මාසයක් එහි සිට මාර්‍තෘ දිව්‍ය රාජයාණන් ප්‍රමුඛ දෙවිවරුනට අභිධර්මය දේශනා කොට වප් පෝ දිනක දී නැවත මනුලොවට වැඩම කළ ස්ථානය වීම ය.
ඊට අමතරව විශාල පිරිසක් එක්වර බුදු බව පැතූ ස්ථානයක් වීමත්, මෛත්‍රී බෝධි සත්ත්වයන් අවසාන වරට පැවිදි වූ තැන වීම, ලෝක විවරණ ප්‍රාතිහාර්යය දක්වන ලද ස්ථානය වීම, සියලු ම බුදුවරුන් විසින් අත් නොහරින පුණ්‍ය භූ®මියක් වීම, සැරියුත් මාහිමි තම පිරිවරට අභිධර්මය දේශනා කරමින් වැඩ සිටි ස්ථානයක් වීම ආදියයි. මේ පුණ්‍ය භූමියේ ඇති “දේවාව රෝහණ මෛත්‍රී බුද්ධ විහාරය” විශේෂ තැනක් ගනී. ඒ අතර ම මේ භූ®මියේ ඇති අඩක් පොළොවේ ගිලී ඇති අශෝක ස්ථම්භය ඉන්දියාවේ ඇති හොඳ ම අශෝක ස්ථම්භය වශයෙන් ද සැලකේ.

බුද්ධගයා පින්බිම
ඊට නුදුරින් ඇති චෛත්‍යය දැන් ගරා වැටී නටබුන් වී ඇත. දඹදිව වන්දනාවේ පැමිණෙන බැතිමතුන් සඳහා සංකස්සපුර මෛත්‍රී බුද්ධ විහාරයේ නවාතැන් පහසුකම් ලබා ගැනීමට ද හැකි ය. ඒ අතර ම ඒ අවට නවාතැන් ගැනීමට හෝටල් කීපයක් ද තනා ඇත.
සංකස්සපුර වැඳගත් අප ඊළඟට පැය 12 ක පමණ ගමනකින් පසුව ළඟා වූයේ ශ්‍රාවස්තිපුරය (සැවැත්නුවර) ටයි. කෝසල ජනපදයේ අගනුවර වූ ශ්‍රාවස්තිය බුද්ධ කාලයේ බොහෝ ප්‍රසිද්ධ වූ නගරයකි. බුදුරජුන් වැඩි ම වස් කාලයක් (වස් 25ක්) වැඩමකර සිටියේ “ජේතවනාරාම”යේය. (දෙව්රම් වෙහෙර) අනේපිඩු සිටුතුමා විසින් කරන ලද මේ ජේතවනාරාම පුද බිම අසල ඇති අනේපිඩු සිටු මාලිගයේත්, අංගුලිමාල ස්ථූපයේත් නටබුන් දැක ගැනීමට හැකි ය.

ශ්‍රී මහා බෝධිය හා බුද්ධගයා විහාරය
මේ පුද බිමෙ හි ඇති “ආනන්ද බෝධීන් වහන්සේ” මෙහි වන්දනාවේ පැමිණෙන සැදැහැවතුන්ගෙන් පූජා ලබන විශේෂිත වූ බෝධියකි. දෙව්රම් වෙහෙර වැඩ සිටි බුදුරජාණන් වහන්සේ නොමැති අවස්ථාවල දී එහි පැමිණෙන සැදැහැවතුන්ට වන්දනා කිරීම පිණිස ආනන්ද හිමියන් ගේ ඉල්ලීම පරිදි බුදු රදුන්ගේ අනුමැතිය ඇතිව ගයාවේ ජය ශ්‍රී මහ බෝධියේ අංකූරයක් දෙව්රම් වෙහෙර භූ®මියේ පැළ කරන ලදී. ආනන්ද හිමියන් මෙයට මුල් වූ නිසා මේ බෝධිය “ආනන්ද බෝධිය” නමින් නම් කර ඇත.
සැවැත්නුවර ඇති නටබුන් වී ඇති පූජනීය ස්ථාන අතර පූර්වාරාමය, ගන්ධකුටිය, දම්සභා මණ්ඩපය, ගෝතමී චේතිය, සක්මන් මළුව, ආනන්ද කුටිය, සීවලී කුටිය රාහුල කුටිය, ගන්ධබ්බ චෛත්‍යය ආදිය ඔබට වැඳ පුදාගැනීමට හැකි ය. වසර දෙදහස් පන්සීයක කාලයක සිට පැවත එන මේවා ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් මනා ලෙස සංරක්ෂණය කොට ආරක්ෂා කර ඇති අයුරු ප්‍රශංසනීය ය.
ශ්‍රාවස්ති නුවර වන්දනාවේ පැමිණි ඔබට එහි ඇති ජෛන පන්සල් පවා නැරඹීමට හැකි ය. මේ අතර මෙහි ඇති තායි මෙහෙනින් වහන්සේලා ගේ ආරාමයත් එහි භූ®මියේ ඇති විශාල බුදු පිළිමයත් මෑතක දී සාදන ලද්දකි.

බරණැස ධම්මික ස්ථූපය
සැවැත්නුවර දී ඔබට ඉන්දියාවේ රසවත් මිදි කෑමට ගත හැකිය. එහෙත් ඒවා කීපවරක් සෝදා ආහාරයට ගැනීම ඔබේ සෞඛ්‍යයට ගුණදායක වනු ඇත.
දඹදිව වන්දනාවේ යන ඔබ ජලය පානය කිරීමේ දී බොහෝ ප්‍රවේශම් විය යුතු ය. උණුකර නිවාගත් ජලය පමණක් පානය කරන්න. නැතහොත් විධිමත් ලෙස බෝතල්වල පුරවා සීල්කර ඇති ජලය පමණක් පානය කරන්න. අපිරිසිදු දූවිලි වැදී ඇති ආහාර ඔබව ලෙඩ කරනු ඇත. වන්දනාවේ යන ඔබට අතරම¼ඟ දී අසනීප වුවහොත් දොස්තර මහතකු හමුවීම දුෂ්කර වනු ඇත.
සැවැත් නුවර වැඳ පුදා ගත් අපගේ ඊළඟ ගමනාන්තය වූයේ සිදුහත් කුමරු උපන් පිංවත් භූ®මිය වූ “ලුම්බිණියයි.” ලුම්බිණියට යන අතරතුර අපට අතර මඟ දී හමු වන තවත් පින්බිමකි “කපිලවස්තු පුරය” ලුම්බිණියට බටහිරට වන්නට පිහිටා ඇති මෙහි සිදුහත් කුමරු අභිනිශ්ක්‍රමණය සඳහා ගිය දොරටුව පිහිටා ඇත.
“ලුම්බිණිය” පිහිටා ඇත්තේ නේපාලයේ ය. ඉන්දියාවේ සිට නේපාලයට යන අප පැය කීපයක් ඉන්දීය නේපාල දේශ සිමාවේ රස්තියාදු වුණේ නේපාලයට යෑමට වීසා ලබා ගැනීමට ය.

සැවැත් නුවර ආනන්ද බෝධිය
ලුම්බිණි පුද බිම වාහන දුම් වැදීමෙන් විනාශ වීම වළක්වා ගැනීම සඳහා පුදබිමට කිලෝ මීටර් 2ක් පමණ ඈතින් වාහන නවත්වා පුදබිම වෙත පයින් යා යුතු ය. ඔබට එහි යෑමට දෙදෙනෙකුට ගමන් කල හැකි බයිසිකල් රික්ෂෝවක් කැමතිනම් ඉන්දියානු රුපියල් සුළු ගණනක් ගෙවා කුලියට ගත හැකි ය.
මේ පුදබිම වෙත ඇතුළු වීමට මුදල් ගෙවා ටිකට් පතක් ලබා ගත යුතු ය. දඹදිව වන්දනාවේ යන ඔබට එහි සිද්ධස්ථාන කීපයකට ඇතුළු වීමේ දී සුළු මුදලක් ගෙවීමට සිදු වේ. එම මුදල් මේ පුදබිම්වල නඩත්තු කටයුතු සඳහා යොදවන බවත්, යොදවා ඇති බවත් ඔබට දෑසින් ම බලා ගත හැකි ය.
ලුම්බිණියේ සිදුහත් කුමරු උපන් ස්ථානය ආරක්ෂා කිරීම පිණිස එය වටකොට විශාල ගොඩනැඟිල්ලක් තනා ඇත. ඒ නිසා අව් වැසිවලින් එම ස්ථානය ආරක්ෂා වී ඇත. මෙහි ඇති නටබුන් මතින් ඇවිදගෙන යෑමේ දී ඒවා විනාශ වෙන බැවින් එම නටබුන් උඩින් යෑමට ලීවලින් දිගු පාලමක් තනා ඇත.
මේ පාලම මතින් ගොස් සිදුහත් කුමරු උපන් ස්ථානය ඔබට නැරඹිය හැකි ය. එම ස්ථානය දැඩිව ආරක්ෂ කරන අතර එය විශාල වීදුරුවකින් වසා ඇත. වීදුරුව අතරින් බලන ඔබට පහත ඇති කොළ පාටට හුරු මැටි පස් මත ඇති සිදුහත් කුමරු ගේ යැයි සැලකෙන පාදයේ සළකුණක් ද බලා ගත හැකි ය.

සම්මුඛ චෛත්‍ය
එය නරඹා එළියට එන ඔබට සිදුහත් කුමරු නෑවූ පොකුණ ද නැරඹිය හැකි ය. ඔබත් සම¼ඟ වන්දනාවේ ආ පිරිස සමඟ එකතු වී ඒ අසල ඇති බෝගස යට සිට සැදැහැ සිතින් පිරිත් කියන්න. අතීතයේ දී මේ භූ®මියේ දී පහළ වූ ඒ පින්වත් කුමරා සිහිකරන්න.
ලුම්බිණිය වැඳ පුදාගත් අප ඊළ¼ඟට “කුසිනාරාව“ බලා පිටත් වූවෙමු. පැය ගණනක ගමනකින් පසුව එදින සවස් භාගයේ කුසිනාරාවට ළඟා වූ අප බුදුරදුන් පිරිනිවන් පෑ වදාළ කුසිනාරාවේ ඇති පිරිනිවන් මංචකය සාදා ඇති විහාරගෙය වැඳීමට ගියෙමු.
මෙහි ඇති පිරිනිවන් මංචකය දකින කාහටත් නෙතඟට කඳුළු නංවයි. සැදැහැත්තෝ ශ්‍රී ලංකාවෙන් ගෙන ආ සිවුරු එහි ඇති බුදුරදුන්ගේ පිරිනිවන් මංචක පිළිමයට පූජාකොට දෑසේ කඳුළින් යුක්තව බුදුන් වඳිති. මේ පිරිනිවන් මංචකය සහිත විහාරගෙයත් ඊට යාබද දාගැබත් සෑදීමට මුල් වී කටයුතු කර ඇත්තේ ඉන්දියාවේ සිටි අග්‍රගන්‍ය අගමැති වරයෙකු වූ ශ්‍රී නේරු ශ්‍රීමතාණන් විසිනි.
ඉන් පසු ඔබ නැරඹීමට යා යුත්තේ බුදුරදුන් පිරිනිවන් පෑ ස්ථානය බැලීමට ය. මේ ස්ථානයේ තනා තිබූ චෛත්‍යය ගරාවැටී ඇති අතර දැන් එම ස්ථානය යකඩ වැටකින් වටකොට ආරක්ෂාව සපයා ඇත. ඉන් පසු ඔබ පිවිසෙන්නේ මෙහි ඇති “ආදාහන චෛත්‍යය” වැඳ පුදා ගැනීමට ය.

බරණැස මූලගන්ධකුටි විහාරය
මකුට භන්ධන චෛත්‍යය, අංගාර චෛත්‍යය යන නම්වලින් ද හැඳින්වෙන මේ චෛත්‍යය සාදා ඇත්තේ බුදුරදුන්ගේ ශ්‍රී දේහය ආදාහනය කළ ස්ථානයේ ය.එම ස්ථානයේ සිට කිලෝ මීටරයක් පමණ යන ඔබට “මාතා කුහර” නම් වූ බුදු රදුන් අවසන් වරට පැන් වැළඳූ ස්ථානය දැක බලා ගත හැකි ය. මෙයට මඳක් ඈතින් ඇති “කුකුත්තා නදියෙන්” බුදු රජුන්ට පැන් ගෙනවිත් දෙන ලද්දේ ආනන්ද හාමුදුරුවන් වන අතර බුදු රදුන් පැන් වැළඳූ ස්ථානයයි මේ ‘මාතා කුහර’ නමින් හඳුන්වන්නේ.
පසුදින උදයේ කුසිනාරාවේ සිට “බුද්ධගයාව“ බලා පිටත් වූ අප විශාලා මහනුවර “කූඨාගාර ශාලාව“ හා “ආනන්ද ස්ථූපය” ද බලා කියාගෙන ලිච්ඡවී රජ දරුවන් බුදුරජුන් ගේ ධාතු නිධන් කළ චෛත්‍යයේ දැනට ඉතිරි වී ඇති පාදම ද බලා බුද්ධගයාවට සේන්දු වූයේ ගංගා නම් ගඟ හරහා කි. මී. 7ක් දිගට සාදා ඇති ගාන්ධි පාලමෙනි.
“බුද්ධගයාව.” පූජනීය පින්බිම. සිදුහත් තව්සාගේ සය වසරක් දුෂ්කර ක්‍රියා කොට එය අත්හැර මැදුම් පිළිවෙතට සම වැදී ශ්‍රී මහා බෝධිය පාමුල දී බුද්ධත්වයට පත් වූ ස්ථානයයි මේ.
නවාතැන් ගත් හෝටලයේ සිට පසුදින උදයේ අප බුද්ධගයා විහාරයත්, ශ්‍රී මහා බෝධියත් වැඳීමට පිටත් වූවෙමු. ඉන්දියාව දැඩි උෂ්ණත්වයකින් යුක්ත රටකි. බුද්ධගයා විහාරයට ඇවිදගෙන ගිය අප දැඩි හිරු රැසින්, රස්නයෙන් පීඩා වින්ඳෙමු. පඩි පේලිය බැස අප අවතීර්ණ වූයේ බුද්ධගයා පින් බිමටය. පුදුමයකි. හිරු රැස් කොහේ ගියා ද නැත. මුළු පරිසරය ම සිසිලකින් යුක්ත ය. අවට එළියේ ඇති රස්නය මේ පුදබිම තුළ නැත. මෙහි බෝ පත් සිලි සිලි හඬින් නටවමින් එන සුළඟ කොතරම් සිසිලසද.

ලුම්බිණිය
ශ්‍රී මහා බෝධියට සැදැහැ සිතින් වැඳ වැටෙන්නේ අපේ අම්මලාය. තාත්තලාය. සීයලා ය. ආච්චිලා ය. ඔවුන් දුටු විට අප නෙතට කඳුළක් නොගැනෙන්නේ නම් එය පුදුමයකි. සතෙන් සතේ, රුපියලෙන් රුපියල වසර ගණනාවක් ම එක්කොට, තම දෙපා, ශරීරය වාරු නැති වූවත් ජීවිතයේ එක් වතාවකට වත් මේ පුණ්‍ය භූ®මියට පැමිණි ඔවුන් දොහොත් මුදුන් දී බුදුන් වඳින අයුරු දුටුවිට අප හදවත් සසල වේ.
ඔබ මේ පින් බිමට පැමිණි වේලේ සිට ම බැලීමට වැඳීමට බොහෝ දේ ඇත. බුදු රදුන් සත් සතිය ගත කළ ස්ථාන හත ම මේ ශ්‍රී මහා බෝධිය අවට ම ඇත. ඔබ ශ්‍රී මහා බෝධි මළුවේ බිම වාඩිවෙන්න. දෙ ඇස් පියන්න. බුදු රදුන්ගේ ධර්මය ගැන මෙනෙහි කරන්න. බුදු ගුණ සිහි කරන්න. භාවනාවේ නියුක්ත වන්න. එවිට ඔබගේ දෙඅත් මතට වැටෙන ශ්‍රී මහා බෝධියේ බෝ කොළය බොහොම බැතියෙන් ශ්‍රී ලංකාවට රැගෙන එන්න. නිවසේ බුදුන් වඳින තැන තබා එයට ගෞරව කරන්න.
බුද්ධගයා විහාරය ඉන්දියාවේ ගුප්ත යුගයේ කලා සම්ප්‍රදායේ විශිෂ්ටත ම නිර්මාණයකි. අඩි 88 ක් දිග අඩි 78 ක් පළල අඩි 170ක් උස මේ විහාරගෙය මුදුන කුඩා වන ලෙස තනා මුදුනේ චෛත්‍යයක හැඩරුව ලෙස එය ගොඩනගා ඇත. මේ විහාරයේ පිටත බිත්තිවල බුදු පිළිම රාශියක් විවිධ විවිධ ලෙස අඹා ඇත.

කුසිනාරාවේ ආදාහන චෛත්‍ය
මේ පුදබිම කාලයක් ම අත්පත් කරගෙන සිටි ‘මහන්තා’ නම් තැනැත්තාගෙන් මෙය බේරාගෙන සකල ලෝවාසී බෞද්ධයන් වෙත පුද කිරීමට අනගාරික ධර්මපාලතුමා සමත් විය. ලොව සෑම දෙසින් ම ථෙරවාදී, මහායාන බෞද්ධයෝත්, අන්‍ය ආගමිකයෝත් මේ පුද බිම වැඳීමටත් බැලීමටත් පැමිණෙති.මුළු දවසම එතන සිටියත් ඔබට එතැනින් නැගිට ඒමට සිත් නොදේ.
බුද්ධගයා පින් බිම වැඳ පුදාගත් ඔබට ඉන් ඈතට වෙන්නට ඇති “ඩුංගසිල්” ප්‍රදේශයට ගියවිට එහි ඇති “දුර්ගේශ්වරී කන්ද” හමු වේ. මේ දුර්ගේශ්වරී කන්ද මුදුනට කිලෝ මීටරයක් පමණ ගිය විට එහි තිබ්බත පන්සලක් හමුවේ. එම පන්සලට යාබදව ඇති ගල් ගුහාව තුළට පිවිසෙන්න. එහි ඇති සිදුහත් කුමරු දුෂ්කර ක්‍රියා කරමින් සිටින පිළිමය බලන්න. මේ සිදුහත් කුමරු බුදු බව පතා සය වසරක් දුෂ්කර ක්‍රියා කළ ස්ථානයයි.
ඉන් පසු ඔබ “රාජගීර්” (රජගහ නුවර) බලා ගමන් ගන්නා විට විඩූඩභගේ රථය එරුණු ගල් පොළොව බලන්න. එහි කළුගල හරහාට වැටී ඇති රථය එරුන තැන ඇති ඒ කරත්ත රෝද පාරවල් බලන්න.
ඉන් ඉදිරියට යන ඔබට ප්‍රථම ධර්ම සංඝායනාව පැවැත් වූ “සප්තපර්ණී” ගල් ගුහාව ද නැරඹිය හැකි ය. ඉන්දියාවේ මේ බිහාර් ප්‍රාන්තයේ අතීතයේ දී පිහිටා තිබූ නාලන්දා විශ්වවිද්‍යාලයේ නටබුන් ද ඔබට නැරඹිය හැකි ය.

සැවැත්නුවර අනේපිඬු සිටුතුමාගේ මාලිගය
රජගහ නුවර “ගිජ්ඣකුට” පර්වතය අසල ඇති “විශ්වශාන්ති ස්ථූපය වැඳීමට ඔබට යා හැක්කේ කේබල් කාර්වලිනි. එය සුන්දර ගමනකි.
දින තුනක් බුද්ධගයාවේ ගත කළ අප ගේ මීළඟ ගමනාන්තය වූයේ “බරණැසයි.” වාරානසි යනුවෙන් ද එම ප්‍රදේශය වර්තමානයේ දී හඳුන්වයි. බරණැස යන අතරමග දී අපට දකින්න ලැබෙන දැනට නටබුන් වී ඇති “සම්මුඛ ;;චත්‍යය” ගොඩ නගා ඇත්තේ “චෞකණ්ඩි” නම් රජකු විසිනි.
පස්වග තවුසන්ට බුදු රදුන් හමු වූ ස්ථානය මෙතැන නිසා මේ චෛත්‍යය “සම්මුඛ චෛත්‍යය” යනුවෙන් නම් කර ඇත. මෙහි මුදුන අටපට්ටම් හැඩය ගත් ගොඩනැඟිල්ලකි. එය කරවන ලද්දේ ගුප්ත යුගයේ රජකු වූ චන්ද්‍රගුප්ත රජු විසින් යැයි මතයක් පවතී.
“බරණැසට” පැමිණි අප මිගදායේ ඉසිපතනාරාමය වැඳ පුදා ගැනීමට පිටත් වූවෙමු. මේ ප්‍රදේශය තුළ නටබුන් වූ ගොඩනැඟිලි විශාල ප්‍රමාණයක් දැකගත හැකි ය. කැඩී බිඳීගිය අශෝක ස්ථම්භයක් ද බුදුරදුන් වාසය කළ විහාර ගෙවල්වල නටබුන් ද දක්නට ලැබේ. බරණැස මිගදායේ ඇති “ධම්මික ස්ථූපය” මේ කිසිවකින් නොසැලී සිටිනා යෝධයකු වැනි ය. ධම්මික ස්ථූපය වැඳ පුදාගත් අප ඊළඟට ගියේ අනගාරික ධර්මපාලතුමන් විසින් කරවන ලද “මූලගන්ධකුටි විහාරය” වැඳ පුදා ගැනීමට ය.
මේ මූලගන්ධකුටි විහාරය ඇතුළත ලෝප්‍රකට සාරානාත් බුදු පිළිමයේ අනුරුවක් තබා ඇත. මෙහි පැමිණෙන සියලු දෙනාට ම දිනපතා සවස 6 ට මෙහි පැවැත්වෙන පිරිත් සජ්ඣායනාවට සහභාගී වීමට පුළුවන.
මූලගන්ධ කුටි විහාරය අසල ඇති අනගාරික ධර්මපාල කෞතුකාගාරය නැරඹීමට ද මෙහි පැමිණෙන සැදැහැවන්තයෝ අමතක නොකළ යුතුය. ඉන්පසු දඹදිව මේ පින් බිම වැඳ පුදා ගැනීමට ඉඩ සලස්වා දීමට මුල් වූ එතුමා සිහිකොට පින් දීමට මූලගන්ධකුටි විහාරය අසල ඇති ජය ශ්‍රී මහා බෝධියේ ශාඛාව වෙත යන්න.
දඹදිව වන්දනා චාරිකාවට යන ඔබ ගුවන් මඟින් දිල්ලියට ගොස් එතැන් සිට බස් රථයෙන් යන්නේ නම් එම මුළු දුර කිලෝ මීටර් 3800ක් පමණ වේ. ඔබ චෙන්නායි වෙත පමණක් ගුවනින් ගොස් එතැන් සිට දුම්රියෙන් දිල්ලියටත් එහි සිට බස් රථයෙන් දඹදිව වැඳ පුදා නැවත චෙන්නායි බලා දුම්රියෙන් එන්නේ නම් මුළු දුර කිලෝ මීටර් 6000 ක් පමණ යා යුතු ය.
දඹදිව චාරිකාව අති දුෂ්කර එකකි. ගිනියම් අව්වත්, දූවිල්ලත්, දැඩි රස්නයත් සමහර අවස්ථාවල දී ඔබට පීඩාව ගෙන දෙනු ඇත. එහෙත් මේ පින් බිම වෙත සම්ප්‍රාප්ත වන ඔබ එය ගැන කිසි ම තැකීමක් නොකර මේ බුදුන් උපන් දේශය සිත්සේ වැඳ පුදා ගන්න.
ඔබ කැටුව යන සංවිධායක මහතුන් ගේ අවවාද පිළිපදින්න. පිළිගත් දඹදිව සංචාරක ආයතනයක් තෝරාගෙන ඒ හරහා යන්න. එවිට ඔබගේ ගමන සාර්ථක වනු ඇත.